Thursday, June 29, 2023

ඉක්කාව - ගමරාලගේ අඬහැරය හතලිස් හයවන දිගහැරුම.

 ඉක්කාව

මේ දවස්වල ඩුබායි දේසේ කට්ටියට ඊද් නිවාඩුව. හරියටම කියනවනම් එළුවන්ට බඩුම තමා. කොච්චර බෑ කිවුවත් කොරන්ඩ දෙයක් නෑ. දැන් ඔය සිරි ලංකාවෙත් මේ උත්සවේ සමරන උදවිය උළුවස්ස ගාව එළුව ගැට ගහල වැඩේ කොරනවනේ. අර ගමේ ගොඩේ කතාවක් තියෙනව නොවැ එළුවගෙ මොකක්ද එක වැටෙනකං බලා හිටිය වගේ කියලා. ආං ඒ වගේ සමහරු ලොක්කගෙ ලෝක සවාරිය ඉවර වෙනකං බලා ඉන්නව මොනවද හම්බවෙන්නෙ කියලා. මට කියන්න තියෙන්නෙ ඉතිං එළුවගෙ අරක වගේම තමා. 

ඔය අස්සෙ කොහොම හරි  හම්බවුනා මේ රටේ ජබල් අලි කියන පළාතෙ බැංකුවක වැඩ කොරන ලංකාවෙ මහත්තයෙක්. ඉතිං මගේ පළවෙනි පුරස්නෙ මහත්තය ලංකාවේ කොහේද? අහපු ගමන් මහත්තය කියාපි පේරාදෙණිය සරසවියට අල්ලපු වත්තෙ කියලා. මං ඇහුවා එච්චර ලස්සන පරිසරයක ඉදලා මේ කාන්තාරෙ  ඉන්නකොට කොහොමද කියලා. ඒ මහත්තය කියල වැඩක් නෑ කියලා වචන ගිල ගත්තා. අප්පච්ච්යේ බලන්න එපායැ ඒකට එච්චර ලස්සනට තියෙන සරසවියේ මල් පිපෙන කාලෙට පෙති කඩාගෙන වැටිලා පොළොව වැහෙනවට වඩා වේගෙන් තරුණ ජීවිත කඩා වැටිලා නොවැ. මයි හිතේ මේ දරුවෝ පොත් පත්වලට විතරක් හිරවෙලා. සමාජ දැනුම නෑ ඒකයි. මහ ඇදුරෙක් කියල තිබුන ගොඩක් ළමයින්ට කන්න නෑ කියලා. හැබැයි ඉතිං එහෙමයි කියලා ජීවිත නැති කොර ගෙන හරියනවයැ. එතකොට දෙමාපියන්ගෙ බලාපොරොත්තු. අනික කන්න නෑ කියල මැරෙනවනම් මම හිච්චි එකා කාලෙ එක සිය සැරයක් මැරෙන්න තිබුණා. මක්ක කොරන්නෙයි ඒ කාලෙ කොස් ගහේ පිහිට තමා. මේ කතාව ඇහැගැටුණු දරුවෙක් හිටියොත් ඔය සරසවියෙ දරුවන්ට කියන්න. ඕං මෝඩ ගමයෙක් මෙහෙම කියල තියෙනව කියලා. ඒකත් එක්ක පේරාදෙණිය සරසවියට අවුරුදු අසූවක් පිරිච්ච හන්දා ඕං ජූලි මාසෙ පළවෙනිදට හැමෝටම බලන්න දෙනව කියන්නෙ සරසවිය. අපරාදෙ මම ලංකාවෙ හිටියනම් අනිවාර්යෙන්ම යනවා. ඔය හිච්චි  එකාල නොදකින සුන්දරත්වය බලන්න. 

ඉතිං ඔය පේරාදෙණිය වලේ නාට්‍යයක් කොරන්න බැරිවුණාට මගේ නාට්‍ය ගුරුතුමා වෙච්චි මැදවල පර්සි කේ. ජයතිස්ස මහත්තයගෙ ගුරුහරුකම් යටතේ මාත් ඔය එළිමහන් වේදිකාවල ජල්ලි ඇල්ලුවා. මෙදා සැරෙත් ඕං ඇසළ පෝයට මීට කලින් මාත් රඟපාපු ,දෛවයේ විසඳුම, බෞද්ධ නාට්‍යය වේදිකා ගතවෙනවලු යක්කලමුල්ලෙ පොල්පගොඩ කියන ගම් පළාතෙ. මං මේක මතක් කොරේ දැන් ගොඩක් වෙලාවට තියෙන්නෙ ඇසළ සැණකෙළිනෙ ඒකයි. ඊට පස්සෙ ඉතිං මළ කෙළි තමයි. 

අපේ ගමේ ඉන්නවා අනූෂා කියල නඟා කෙනෙක්. ඒකි පන්සලේ පිංකමක් තියෙනවනම් පණ කඩාගෙන බයිසිකල් පැදල හතර වටේ ගොහින් ඇතිවෙන්න මල් කඩාගෙන එනවා. ඒ විතරක් නෙවෙයි පන්සලේ මොන වැඩේ තිබුණත් මැරීගෙන වැඩ. මං මේ බලාගෙන ඉන්නෙ ආං ඒකිට කවදටද ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී ගෞරව නාමය හම්බුවෙන්නෙ කියලා. මොකෝ මං තාම දන්නෙ නෑ ඔව්වා දෙන්න කට්ටිය තෝරගන්න විදිය ගැන. 

ඒ අස්සෙ තව කට්ටියක් අරගලේට ඩොලර් ආව විදිය හොයනවා. හොඳයි ඒකත් හොයන්න. හැබැයි ආං සෞඛ්‍ය අමාත්‍යංශෙ වාහන එක්දාස් ගානක් අතුරුදහන් වෙලා. රජ ගෙදර වාහනත් අතුරුදහන් වෙලා. රාජ්‍ය ආයතන කෝටි ගණනක් පාඩු ලබලා. අරව හොයලා වෙලාවක් තිබුණොත් ආං ඒ ගැනත් පොඩ්ඩක් හොයන්නකෝ. 

  ඊයෙ පෙරේද දවසක වාහනේ යන ගමන් මට එකපාරටම ඉක්කාවක් හැදුන නොවැ. ලඟ ඉදපු හාදය කිවුවා ඉක්කයි මමයි ගාලු ගියා ඉක්ක දාලා මං ආවා කියල කියන්න කියලා. ඒත් මං ඒක නොකිය වතුර උගුරක්  බිවුවා. මොකෝ  ඩුබායි ඉදල සෑහෙන්න දුර නොවැ ගාල්ල. මං හිතන්නෙ රටේ සිද්ධවෙන දේවල් මතක් වෙනකොටයි මේ රටවල් දියුණු වෙනව දකින කොටයි ඉතිං ඉක්ක නොවැටි තියෙයිද? ඕං එක සංචාරයක් ඉවර කොරලා ලොක්ක ඇවිල්ල නොවැ. ලෝක බැංකුවෙන් ලොකු ගානකුත් ගන්න අනුමත කොරගෙන. දැං ඉතිං අර ප්‍රෙඩී සිල්වා මහත්තය කියපු සිංදුවක් තියෙන්නේ ,අනෙ අම්මාපල්ලා ආයෙත් ඇවිල්ලා ඉක්කා වැටෙයිදෝ හත් දෙයියනේ, එහෙම කියාගෙන එහෙනම්  මහත්තයෙක් කියල තිබුණා ගොහිං එන්නම් කියන එකට වඩා ගෙහුං එන්නම් කියලා අඬහැරේට ගැළපෙනවා කියලා. ආං ඒ විදියට මෙදා සැරේ අවසන් කොරන්නං. 

එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.

ගමරාලගේ අඬහැරය හතලිස් හයවන දිගහැරුම.

2023-06-29 බ්‍රහස්පතින්දා.    


Thursday, June 22, 2023

ටයිටැනික් - ගමරාලගේ අඬහැරය හතලිස් පස්වන දිගහැරුම.

ටයිටැනික්

පහුගිය දවසක මම ගියා  ඩුබායි රටේ බාබර් සාප්පුවකට. මොකෝ සිරි ලංකාවෙ ඉන්දැද්දි රසායනික ඇත්තෙම නැතුව කාබනිකවලින් සරුවට වැවිල තිබුණ මගේ රැවුලයි කොන්ඩෙයි කපන්න වුණා නොවැ ඒරොප්පෙට එනකොට.  ඉතින් මාසෙකට සැරයක්වත් වැවෙන ටික කපනවා. මෙදා සැරෙත් රැවුල කොන්ඩෙ කපාගෙන මම කිවුවා කන් ගැට්ටෙ තියෙන මයිලුයි ඌරෙක්ගෙ දළ වගේ මේ නාහෙන් එළියට පනින ඒවයි කපන්න කියලා. මේං බාබර් අහපි ජෙල් එකක් තියෙනව ගාන්නද කියලා. මාත් ඉතිං ඔය ඕන මගුලක් අත්හදා බලන්න කැමතියි නොවැ. දෙපාරක් නොහිතා හාං කිවුවා. මේකා භාජනයක් අරගෙන ආවා. ලී පතුරකට ගත්ත උණුකරපු මී ඉටි වගේ මක්කද රස්නෙ පිටම ගෑවා කන් ගැට්ට වැහෙන්නම පුළුන් කූරු දෙකක් අරගෙන ඒකට පුරවල බැස්සුව නාස් කුහර දෙකට. ආයෙ මොනවද ඉතිං මාළු හුස්ම ගන්නව වගේ මාත් කටින් හුස්ම අරගෙන පැය කාලක් විතර ගියාම ඕං ඒකා එකපාරට මගේ කන මිරිකලා අර තට්ටුව ගැලෙව්වා. කනේ මයිල් සේරෝම අරකට ඇලිලා. ඊළඟට බෝස් බෝස් ගාලා නාහෙට බස්සපුව ඇදල ගත්තා මං හිතුවා නාස් පොල්ල ගැලවුනා කියලා. කොහොම හරි නාහෙ මයිලුත් ගුලිය පිටින් ගැලවුනා. මට පුදුම මේකයි. වෙනද ඔය සිරි ලංකාවෙ ඉන්න කාලෙ නාහෙන් මයිලක් දෙකක් එළියට ආවම මං අතින් ඇදල ගලවනවා. එතකොට කදුළු පනිනවා. මෙහේ ඇවිත් ගුලිය පිටින් ගැලෙව්වා එක කඳුලක් ආවෙ නෑනෙ. මං කල්පනා කොරේ කාන්තාරෙ  හන්දා මගේ කඳුළු උල්පත් හිදිලා ඇති කියලා. 

තව ඉතින් කොච්චර මිනිස්සු රටට ඩොලර් යවන්න ඒරොප්පෙට ඇවිත් දාඩිය කදුළු වගුරවනවද? ඒ වුණාට රට පාලනය කොරන එවුන්ගෙ එක දාඩිය පොදක් වැටෙන්න බෑ නොවැ. දැක්කනේ ජාත්‍යන්තර යෝග දිනේ කට්ටියගෙ කෙරුවාව. උං යෝග කොරනවා. ආරක්‍ෂකයො කුඩේ අල්ලන් ඉන්නවා. විලි ලැජ්ජාවෙ බෑ. ඔය ඉස්සර තේරවිල්ලක් අහනවා රෙද්ද අස්සෙ කූරු කූරු මොකක්ද කියලා. උත්තරේ තමයි කුඩය. අන්න ඒ තේරවිල්ල කුඩේටයි  එවුන්ටයි දෙකටම ගැලපෙනවා නොවැ. වෙලාවකට හිතෙනවා මුංට මොලේ උණ හැදිලද කියලා. මොකෝ ඒකට විදින බෙහෙතක් ලංකාවෙ නෑ. ඒක හන්දා මේ දවස්වල මක්කම යන අය යන්නෙ බෙහෙත් විදින්නෙ නැතුව. හැබැයි එහේ සැරටම මොලේ උණ. මක්කම ගොහින් ඔක්කොම මොලේ උණ හදන් ආවොත් බඩුම තමයි. 

මේ දවස්වල ඉස්පිරිතාලවල බෙහෙත් ඇත්තෙත් නෑ. තියෙන්නෙත් බාල ඉන්ජෙක්සන්. ගහපු ගමන් මැරෙනවා. ඒක හින්දා හැමෝම කල්පනාවෙන්. මොකද අරුන්දල නම් සිංගප්පූරුවෙ හරි යාවි. අපිට යන්න වෙන්නෙ කනත්තට තමා. ආං වැලිමඩ ඉස්පිරිතාලෙ නම් ගෙවල් වලටම ගොහින් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කොරනවා. ඒක විශිෂ්ට වැඩක්. හැබැයි ඉතින් ඒ දොස්තර මහත්තුරු වෙන තැනකට මාරු කොරාවිද දන්නෑ.  මතකයිනෙ එක සැරයක් හදිසි ලෙඩෙක් අරගෙන දොස්තර මහත්තය ඇම්බියුලන්ස් එක එලෙව්වා කියලා දඩුවම් දුන්නෙ. එහෙව් රටක් සිරි ලංකාව. 

දැන් ඔය ඉස්සර පරාක්‍රමබාහු රජතුමාගෙ කාලේ අපි හාල් නැව් පිටරටත් යැව්වලුනේ. මමනම් ඔය රජතුමා ඉස්සරෝම අඳුන ගත්තෙ දන්ත මුක්ත පැකැට් එකෙන්. ඒකට දැන් තියෙන්නෙ මාර නැවු පුරස්න නොවැ. රටම කාබනික කොරන්න පෝර නැවක් ගෙන්නලා තාම ඇදගෙන නානවා. ගිනිගත්ත නැවේ වන්දිය හොර පාරෙන් වෙන එකෙක් අරගෙන. ඒ අල්ල පනල්ලෙ අපේ රට අද්දරින් තියෙන නැව් යන පාර වෙනස් කොරන්න  හදනවා. බලාගෙන යනකොට වෙනස් නොකර ඉදීද මෙහේ  එවුන් කොරන වැඩ වලට.  අපිට හැමදාම පාඩුයි කියන තෙල් සංස්තාවෙ ලොක්කො එකතු වෙලා තෙල් නැවක්ම ගිලල නොවැ. දැන් අර අත්ලාන්තික්  සාගරේ ගිලුණු ටයිටැනික් නැව බලන්න ගොහින් සංචාරකයො වගයක් අතුරුදහන් වෙලා. ඒක හන්දා අපේ සංචාරක ඇමති වරායට ගොහින් නැව් පිළිගන්නව වගේ සංචාරකයන්ට කිවුවනම් ටයිටැනික් වගේ නොවයි අපේ රටේ නැව් පිටින් ගිලින එවුන් ඉන්නව කියලා. සෑහෙන්න සංචාරකයො ඒවි. ඊට පස්සෙ තෙල් සංස්තාවට එක්ක ගොහින් අරුන්දැල පෙන්නුවනම් සුද්දො පුදුම වේවි. ටයිටැනික් නැව වගේද මෙහේ  නැව් පිටින් ගිලින හනුමන්තලා.  


එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය හතලිස්  පස්වන දිගහැරුම.

2023-06-22 බ්‍රහස්පතින්දා.    


Thursday, June 15, 2023

කුලු ගෙඩිය - ගමරාලගේ අඬහැරය හතලිස් හතරවන දිගහැරුම.

කුලු ගෙඩිය

ඕං ඉතිං ඒරොප්පෙ ඉන්න හැමෝම වගේ බලාන ඉන්නෙ කොයි වෙලාවෙද සිංහල කටහඬක් ඇහෙන්නෙ කියලා. එහෙම හඬක් ඇහුන ගමන් අහනවා ලංකාවෙ කොහේද කියලා. ඔන්න ඔය වගේ පහුගිය දවසක මට හම්බවෙච්ච කොල්ලෙක්ගෙන් ඇහුවහම කියපි වරකපොළ කියලා.  ඉතිං මම ඇහැව්වා එහේ තාම බීඩි ඔතනවද කියලා. මොකෝ ඉස්සර හිටං මතක තිබුණ නමක් තමා වරකපොළ බීඩි. අපේ අප්පොච්චා බීඩි බොන කාලෙ මම කඩේ යනකොට කියනවා බීඩි රුපියල් දෙකක ගෙනෙං කියලා. ඉතිං ගේනවා. ඒ දවස්වල අරුණ බීඩි කියලත් ජාතියක් තිබුණා  මට මතකයි. ඒකට දැන්. එක බීඩියකට රුපියල් දෙකක බද්දක් අය කොරනව කියන්නේ. දැන් ඔය අපේ පැත්තෙ තියෙනවා සම සෞඛ්‍ය පීඨෙ දරුවො ඉන්න නවාතැනක් ආං ඒක අහල පහළ තියෙන කඩවල්වල නම් හරි විගහට ඔය බීඩි ඉවර වෙනවලුනේ. ඒ කියන්නෙ සෞඛ්‍ය ඉගෙන ගන්න බීඩි කොච්චර වටිනවද කියල තමයි මට හිතෙන්නේ. 

ඉස්සර ඔය නොදියුණුයි කියන කාලේ නොවැ අපි ඉස්කෝලෙ ගියේ. ගොඩකන්දෙ කනිශ්ඨ විද්‍යාලෙට. ඉතිං ඒ ඉස්කෝලෙ අටේ පන්තියෙන් සමුගන්න තිබුණ දුකට අපි ලොකු ඉස්කෝලෙ මහත්තය හම්බුවෙලා ඇහුවා සර් මේ ඉස්කෝලෙම අපිට දහයෙ විභාගෙ කොරන්න බැරිද කියලා. එතකොට ලොකු ඉස්කෝලෙ මහත්තය කිවුවා කලාපෙන් එහෙම අවසර දෙන්නෙ නෑ. පුළුවන්නම් ගම්වැසියන්ගෙ ඉල්ලීමක් මට ගෙනත් දෙන්න මම උත්සාහයක් ගන්නම් කියලා. අනේ ඉතිං අපි ලොකු ඉස්කෝලෙ මහත්තයටම කියල ලියුමක් හදාගෙන හෝලුවගොඩ, ගොඩකන්ද, ලබුදූව, කුරුන්ද කන්ද  මේ හැම තැනම ගොහිං අස්සන් එකතු කොරගෙන ආවා. ඒත්  හරි ගියේ නැහැ නොවැ. ඊට පස්සෙ කණගාටුවෙන් හරි සමුදීලා වෙන තැනකට යන්න වුණා. ඒකට බොලේ දැන්. විභාගෙ ඉවර වුන ගමන් එක එකා මරාගන්න හදනවා. ඒ මදිවට ඩෙස් පුටු අරගෙන දමල ගහනවා. එච්චර කල් ඉගෙන ගත්තු  ඉස්කෝලෙ කුඩු පට්ටම් කොරනවා. ඕං ඕකට උන්ගෙ මහ එවුන් කියන්නෙ ඉස්සර වගේ ගොං නෑ දැන් ළමයි හරි දියුණුයි කියල නොවැ. ළමයි කියන්නෙ උන් හෙන රැඩිකල් කියලා. ඔය ගොඩක් එවුන්ගෙ පපුව ඇතුලෙ හදවතක් නෑ තියෙන්නෙ  කොම්පියුටරෙයි ෆෝන් එකයි විතරයි. අන්න ඒකයි. 

දැන් දැක්කනේ අර නූතන විහාර මහා දේවිය රට පාලනය කොරපු කාලේ තායිලන්තෙන් දීපු ඇතාට වෙච්ච වැඩේ. දිගම ඇත්දළ දෙකක් එක්ක විරාජමානව හිටපු ඒ සතාගෙන් වැඩ අරගෙන අරගෙන අන්තිමේ ඌට බෙහෙත් කොරන්න රැකවරණය දෙන්න බැරි වුණා නොවැ බලධාරීන්ට. අන්තිමට ඒ රටෙන්ම දොස්තර කෙනෙකුටයි ඇත් ගොව්වෙකුටයි එන්න වුණා එයාව බලාගන්න. දැන් ඒ රටෙන් කෝටි විසිපහක් වියදම් කොරලා අහස් යාත්‍රාවකින් අන්න ඇත් රාජයා ඒ රටටම ගෙනියන්න හදනවා. කොහොමද තියෙන සැලකිලි. ඒකට මෙහේ කෙරුවාව. ඒ සතා බලාගන්න පවරල තියෙන්නෙ අලි පටවගෙන ලොරි එලවපු ඩ්‍රයිවර් කෙනෙක්ට. ඒකට තේරෙනවද අලි බලන්න. ඌ දන්නෙ ලොරි බලන්න. ඌ බැලුව කොහොම හරි ඇතා මෙල්ල කොරගන්න ඕන කියලා. කුලු ගෙඩියක් අරගෙන ගහල නොවැ කකුල් වලට මෙල්ල කොරගන්න. උන්දැ හිතන්න ඇති ලොරියෙ රෝද හතර වගේය කියලා. කොහොම උනත් ඒ සතා පවු. රට කරවන එවුනුත් එහෙම තමා. ලොරි ලයිසන් එකෙන් අලි බලනවා. ඒ මදිවට ඉතිහාසය ගැන තමන් තමයි හොඳටම දන්නෙ කියලා ලොරි ටෝක් දෙනවා. මෙල්ල කරගන්න හිතුන ගමන් කුලු ගෙඩියෙන් ගහනවා. හිතල බලන්නකො. මෙවුන් ඔක්කොම සමානයි.  

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය හතලිස් හතරවන දිගහැරුම.

2023-06-15 බ්‍රහස්පතින්දා.

Thursday, June 8, 2023

කොරල් - ගමරාලගේ අඬහැරය හතලිස් තුන්වන දිගහැරුම.

කොරල් 

පහුගිය සතියෙ කට්ටිය පන්සල් වලට වඩා උනන්දුවෙන් දන්සල්වලට නම් ගොහින් තිබුණා නොවැ. බලන්න එපායැ  හැම හන්දියකම උතුරන්න සෙනග. ගොඩක් කට්ටිය වේලාසනින්ම හනි හනිකට පන්සලකට ගොහින් මල් පොකුරකුත් අතේ තියාගෙන ගහනව සැල්පියක්. දානවා අන්තර්ජාලෙට. දැන් ඉතිං නිවන් යන එක ශුවර්. මොකෝ උන්දැල පන්සල් ගියා කියලා මේ ලෝකෙ විතරක්යැ දිව්‍ය ලෝකෙත් දන්නව ඇතිනේ. ඊට පස්සේ හනිකට දුවන්නෙ දන්සලට. එතැනට ගිය ගමන් වට පිට බලන්නෙ අඳුරන එකෙක් ඉන්නවද කියලා පිටිපස්සෙන් ඇතුළට පැන ගන්න. ඊට  පස්සෙ අනිත් එවුන් පෝලිම් පැනපු එකයි අර ගෑනි ඇඳන් හිටපු එකයි කෑම වල ලුණු මිරිස් ගැනයි කතා කොර කොර ගෙදර යන කොට පෝය ගෙවිලත් හමාරයි. සමහර දන්සල් ගාව ඕං මරාගන්නව පෙන්නුවා. ඇයි හැමෝම නාලාගිරිල වගේනේ. චුල්ලහත්ථිපදෝත්තම සූත්තරය ගැන වගේ වගක් නැහැ නොවැ. 

ඒ අස්සෙ දැක්කනේ අර ලෝක පරසිද්ද බි්‍රතාන්‍ය ජාතික හාමුදුරු නමක් ගුවන් තොටුපලේ පැය ගාණක් තියලා අඩියෙන් අඩියට තුවක්කු කාරයො දාගෙන අගමැතිතුමා ලෝක සමුළුවකට ගොහින් නොවැ. ඒකෙන්  ඉතිං ලොකු වටිනාකමක් ලැබුණ නොවැ. වැඩේ උණාට පස්සෙ ඒ ගැන පරික්‍ෂණ කොරනව කිවුවහම උන්වහන්සේ කියල තියෙන්නේ මම එච්චර ලොකු කෙනෙක් නෙවෙයි ඒක හන්දා පරික්‍ෂණ එපා. ආයෙ එහෙම දෙයක් නොවෙන්න වග බලාගන්න කියලා. බලන්න තියෙන නිහතමානීකම. අපේ නම් කොහොමද? රාජ්‍ය අනුග්‍රහය ඕනමයි කියලා යුද්ධ ප්‍රකාශ කොරාවි නේ. 

පහුගිය දවසෙ පරිසර දිනෙත් තිබුණනේ. ඉතිං  හැම අවුරුද්දෙම ඔය දිනේට කැමරා ටිකක් අල්ලගෙන ලෝකෙට පේන්න පැල ටිකක් හිටවනවා. එහෙම නැත්තන් අපේ සල්ලි තව වියදම් කොරලා තඩි බෝඩ් ගහලා පයිල් කවර ගහලා පරිසර ව්‍යාපෘතියක් කියලා ලස්සන නමක් දාලා මොකක්  හරි පටන් ගන්නවා. අනිත් පැත්තෙන් දේශපාලන හයි කාරයො එක කෙළියට කැලෑ කපනවා, පස් කපනවා, වැලි ගොඩදානවා, ගං  ඉවුරුවල හෝටල් ගහනවා. මේ එකක්වත් අඩුවක්  නැහැ නොවැ. අඩු ගානෙ ඔය පරිසර දිනේ කැමරා ටිකත් අටෝගෙන ගොහින් බැලුවනම් උසාවියෙන් කියපු විදියට බදුර්දීන් උන්නැහේ ගස් කීයක් හිටවලද කියලා. කොහොම වුණත් එව්වා අධිකරණෙට අපහාස නෙවෙයි උපහාසෙන් බලා ඉන්න තමා වෙලා තියෙන්නේ.  

දැන් ඉතිං අද ලෝක සාගර දිනේ. අද විතරක් ඒ ගැන කතා කොරයි. ඊට පස්සෙ නැව් ගිනි අරගෙන නෙවෙයි මොන විනාසයක් වෙලා ඕක දූෂණය වුණත් කොරන්න දෙයක් නෑ. මොකෝ ලොකු පුටුවල උගත්තු කියලා කට්ටිය හිටියට මොකක් හරි වුණාට පස්සෙ තමා එයාල ඒ ගැන තියෙන නීති රෙගුලාසි හොයන්නේ. ඊට කලින් ඔය දැලේ  හිල් අස්සෙන් රිංගල ගොහින් මොකෙක් හරි ඒකෙන් ගත මනාවක් හොයා ගන්නව නොවැ. ඊට පස්සෙ ඉතිං අරුන් කොරන්නෙ අස්සය ගියාට පස්සෙ ඉස්තාලෙ වහල දාන වැඩ තමා. 

පහුගිය දවසක මම ගියා නොවැ ලෝකෙ උසම කුළුණ වෙච්චි  ඩුබායි බර්ට් කලීෆා කුළුන යට තියෙන මින් මැදුර බලන්න. කියල වැඩක් නෑ. මහ තඩි තෝරු මෝරු ඔක්කොම ඉන්නව නොවැ. යටින් යනකොට ඔළුව උඩින්  පීනගෙන යනවා වවුල්ලු පිහාඹන්න වගේ. ඒක ඇතුලේ කිමිදෙන්නත් පුළුවන්. කොහොම හරි මේ දෑස පින් කොරලා තිබුණා මේව හැබැහින් බලාගන්න. 

ඉස්සර ලෝකෙ පුරා මිනිස්සු ලස්සනම කොරල් පර  බලන්න එන්නේ හික්කඩුවට නොවැ. සමහර එවුන් කොරල්පර බලන්න ආපු සුද්දන්ට කුකුල් පොර පෙන්නලා පොඩි එවුන් වික්ක මිසක් කොරල් පර රැකගන්න වැඩ පිළිවෙළක් තිබුණෙ නෑ මයෙ හිතේ. කොහොම  වුණත් ඕං ඩුබායි රටේ ලෝකෙ ලොකුම කෘතීම කොරල්පර උද්‍යානෙ හදන්න පටන් ගත්ත නොවැ. ඊට පස්සෙ ඉතිං ලෝකෙ කොරල් පර බලන අය ඔක්කොම මෙහේ ආවොතින් අපිට හුප්පෙ තමා.   

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය හතලිස් තුන්වන දිගහැරුම.

2023-06-08 බ්‍රහස්පතින්දා.

Thursday, June 1, 2023

අභිමානය - ගමරාලගේ අඬහැරය හතලිස් දෙවන දිගහැරුම.

අභිමානය

රුහුණු මාගම් දනව්වේ - කදිර කුමරුගෙ කොදෙව්වේ

ඌව වෙල්ලස් ඉසව්වේ - ඉසුරු විසිරෙන ඇසිල්ලේ

සොඳුරු රන්සර සිසාරා යන - රුහුණු ගුවන් විදුලියයි ඔබේ

මේ රුහුණු සේවයයි. දෙණියායෙන් 107.3 එෆ් එම්. හපුතලෙන් 107.5 එෆ් එම්

 ඕං ඔහොම තමා ගෙදර වෑර්ලස් එකේ රුහුණු සේවය ඇහෙන්නේ. ඉස්සර කිවුවෙ ඕකට සන්නිවේදනයේ රුහුණු රට අභිමානය කියල නොවැ. ඕං ඒකටත් කණකොකා අඩලලු. ඒ කාලෙ ඔය රුහුණු සේවේ ගැන බොක්කටම දැනුනේ ඒකේ සංගීත අංශෙ වැඩ කොරපු අරුණසිරි මාපලගම උන්නැහේ අපේ තාත්තාගේ හොඳ යාළුවෙක් හන්දා. ඉතිං ඉදල හිටලා අපේ පොල් අතු පැලට ඇවිල්ලා මක්ක හරි සප්පායම් වෙලා ගිටාර් එකකුත් ගහ ගහ මධුර මනෝහර තාලෙන් ගායනා කොරනව නොවැ. උන්දැ එක සැරයක් අපේ තාත්තගෙන් ඇහුවා මම මේ ලොකු කොලුව එක්ක ගිහින් සංගීතෙ උගන්නන්නද කියලා.  ඉතිං අපේ ගෙදර දෙන්න දෙමහල්ලො කතා කොරලා මට කැමති දෙයක් කොරන්න අනුමැතිය දුන්න නොවැ. මාත් එක පයින් කැමති වෙලා ගියා උන්දැගෙ ගෙදර. ගොහිල්ලා සංගීතෙ නම් ඉගෙන ගන්න හම්බවුණේ නෑ. දවස් දෙක තුනකින් මම ගෙදර යන්න ඕන කියලා ආවා. හැබැයි ඒ  දවස් දෙක තුනේ හොඳට බඩ කට පිරෙන්න කෑවා. මොකෝ ඒ දවස්වල තිවිච්ච ලොකුම පුරස්නෙ තමා කන්න නැති එක. කොහොමහරි දැන් ඔය රුහුණු සේවේ හබක් කොරන්න යන එකේ ඒ භූමිය රොකට් යවන්න හරි දුන්න නම් හොඳා. මොකද ගුරුත්වාකර්ෂණය අඩුම පළාත හින්දා හොඳ ගාණක් හොයා ගන්න පුළුවන් වෙයි. අඩු ගානෙ මහ එවුන්ට සාක්කුවෙ දාගන්නවත් බැරියැ. රජවරු බිහි කොරපු රුහුණට ගිය කලක්. 

 ආ ඒ වීතරක්යැ. රජ රට සේවෙටත් හෙණේ වැදිල නොවැ. ඔය ගුණදාස කපුගේ මහත්තයා, කරුණාරත්න දිවුල්ගනේ වගේ හැබෑ කලාකරුවො කරලියට ආපු තැනක් නොවැ එතන. ඔය වැව් බැඳි රටේ අභිමානය කියාගෙන කීදෙනෙක් රට පාලනය කොරන තැනට ගියාද? අන්තිමේ උන් රැකුණා. තිබුණු දේවල් වැනසුනා. 

 දැන් ඉතින් පොසොන් උදාවයි දහම් අමාවයි කියාගෙන හැමෝම රජරටට යන කාලෙ නොවැ. හැබැයි බැරි වෙලාවත් මෙදා සැරේ පොසොන් පෝයට මිහිඳු හාමුදුරුවො වැඩියොත් මෙන්න මෙහෙම වෙයි කියලා තමයි මට හිතෙන්නේ. රනිල් රනිල් ජනරජ පෙරහැර ඇරෙන්න තවත් පෙරහර තිබේද? අහන කොට රජා කියයි තිබේ ස්වාමීනි කියලා. එතකොට මිහිදු හාමුදුරුවො කියයි ඒකට කමක් නෑ ධර්මය රැකෙන්න නම් අනිවාර්යෙන්ම මන් වෙනුවෙන් පෙරහැරක් කරපිය කියලා. ඒක දන්න හන්දා තමා ඔය මිහින්තලේ හාමුදුරුවො ඔච්චර වලි කන්නේ. ලක්ෂ තිස් එකක් මදි ධර්මය රැකගන්න නම්  රාජ්‍ය අනුග්‍රහය ඕනමයි තව සල්ලි ඕනමයි කියලා පාත්තරේකට එකතු කරන්නේ මොකෝ අභිමානය රැකෙන්න එපායැ. 

 ඕං මේ ළඟකදි රජරට එක ඉස්කෝලෙක පිරිත් පිංකමක් තිබිලා. ඒ ඉස්කෝලෙම ළමයි එතන ගහගෙන පිරිත් මණ්ඩප්පෙටත් ගහලා විනාස කොරලා. තව පැත්තක විනය භාර ආචාරියට ගහලා. පොත් පත් ඉරා දාලා. සිවුරක් දාගත්ත එක්කෙනෙක්  ජනාධිපති උපදේශක කම් අරගෙන අම්ම එක්ක නිදාගන්න ගමන් දූත් එක්කත් නිදාගෙන. තව රාජාංගනේ සිවුර දාගත්තු එකෙක් තිත්ත පතුරු කුණුහරුප කියනවා. මෙච්චර කල් පෙරහැර කොරලා රැකිච්ච අභිමානයක් තියෙනවද කියන එක තමා මට තියෙන පුරස්නේ. හැම තැනම ධර්මය වන වැදිලා සම්ප්‍රදාය විතරක් රැකගන්න උත්සාහ කරනව කියල තමයි මට නම් හිතෙන්නේ. රටටම කෙළවුනත් ඕකට කියන්නෙ බුද්ධාලම්භන ප්‍රීතිය කියල නොවැ. 

 ඉතින් එහෙව් එකේ එක නෑම්බියෙක් උම්බෑ ගෑවා තව එවුන් ටිකක් ඒකට අත්පුඩි ගැහුවා කියලා උන් විතරක් අභිමානය කෙලසනවා කියලා වලි කෑවට අවබෝධ කරගන්න ඕන දේ තමා උන්ට ඇගිල්ල දික් කොරන එකාලගෙත් අභිමානය රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා. එක එකාගේ යූ ටියුබර් උස්ස ගන්න රෙදි උස්සන කට්ටියයි අත්පුඩි ගහන කට්ටියයි ඒවට ගතු කියන කට්ටියයි ඔක්කෝම එකතු වෙලා රටවල් එකසිය අනූ පහක අග නගර ලකුණු කොරලා ලෝක වාර්තාවක් තියපු වයස අවුරුදු පහක් වෙච්චි නුවරඑලියෙ කලානේශන් හර්ෂිත් දරුවටයි  රට වෙනුවෙන් හති දාගෙන දුවන යුපුන් අබේකෝන්ටයි අත්පුඩියක් ගැහැවුවනම් හොඳා. මොකෝ දැන් ලෝකෙ දුක්ඛිතම රටවල් අතරටත් අපි ගොහිල්ල නොවැ. කොහොමද අභිමානය ? 

 එහෙනම් කට්ටිය එක්ක පොසොන් දන්සල් එහෙම වැඳගෙන යන ගමන් ගුණදාස කපුගේ මහත්තය ගායනා කොරපු

මං මුලාවී පාර සොයාගෙන කතරක් අසමින් යන ගමනේ

මං මුලා වූ  සමනලියකගෙනි පාර අසා තිබුණේ 

සිංදුව අහගෙනම යන්නකෝ. 

එහෙනං ආයුබෝවන්ඩ ගොහිං එන්නං.

ගමරාලගේ අඬහැරය හතලිස් දෙවන දිගහැරුම.

2023-06-01 බ්‍රහස්පතින්දා.

යුක්තිය - ගමරාලගේ අඬහැරය හැත්තෑ තුන්වන දිගහැරුම.

යුක්තිය ඕං ඉතිං 2024ත් ලබාපු එකේ පහුගිය අවුරුද්ද දිහා ආපස්සට හැරිල බලන්න හිතුනා. අම්මෝ ඒ එක්කම අපේ තාත්ත කියපු කතාවකුත් මතක් උනා නොවැ. උ...