ඉක්කාව
මේ දවස්වල ඩුබායි දේසේ කට්ටියට ඊද් නිවාඩුව. හරියටම කියනවනම් එළුවන්ට බඩුම තමා. කොච්චර බෑ කිවුවත් කොරන්ඩ දෙයක් නෑ. දැන් ඔය සිරි ලංකාවෙත් මේ උත්සවේ සමරන උදවිය උළුවස්ස ගාව එළුව ගැට ගහල වැඩේ කොරනවනේ. අර ගමේ ගොඩේ කතාවක් තියෙනව නොවැ එළුවගෙ මොකක්ද එක වැටෙනකං බලා හිටිය වගේ කියලා. ආං ඒ වගේ සමහරු ලොක්කගෙ ලෝක සවාරිය ඉවර වෙනකං බලා ඉන්නව මොනවද හම්බවෙන්නෙ කියලා. මට කියන්න තියෙන්නෙ ඉතිං එළුවගෙ අරක වගේම තමා.
ඔය අස්සෙ කොහොම හරි හම්බවුනා මේ රටේ ජබල් අලි කියන පළාතෙ බැංකුවක වැඩ කොරන ලංකාවෙ මහත්තයෙක්. ඉතිං මගේ පළවෙනි පුරස්නෙ මහත්තය ලංකාවේ කොහේද? අහපු ගමන් මහත්තය කියාපි පේරාදෙණිය සරසවියට අල්ලපු වත්තෙ කියලා. මං ඇහුවා එච්චර ලස්සන පරිසරයක ඉදලා මේ කාන්තාරෙ ඉන්නකොට කොහොමද කියලා. ඒ මහත්තය කියල වැඩක් නෑ කියලා වචන ගිල ගත්තා. අප්පච්ච්යේ බලන්න එපායැ ඒකට එච්චර ලස්සනට තියෙන සරසවියේ මල් පිපෙන කාලෙට පෙති කඩාගෙන වැටිලා පොළොව වැහෙනවට වඩා වේගෙන් තරුණ ජීවිත කඩා වැටිලා නොවැ. මයි හිතේ මේ දරුවෝ පොත් පත්වලට විතරක් හිරවෙලා. සමාජ දැනුම නෑ ඒකයි. මහ ඇදුරෙක් කියල තිබුන ගොඩක් ළමයින්ට කන්න නෑ කියලා. හැබැයි ඉතිං එහෙමයි කියලා ජීවිත නැති කොර ගෙන හරියනවයැ. එතකොට දෙමාපියන්ගෙ බලාපොරොත්තු. අනික කන්න නෑ කියල මැරෙනවනම් මම හිච්චි එකා කාලෙ එක සිය සැරයක් මැරෙන්න තිබුණා. මක්ක කොරන්නෙයි ඒ කාලෙ කොස් ගහේ පිහිට තමා. මේ කතාව ඇහැගැටුණු දරුවෙක් හිටියොත් ඔය සරසවියෙ දරුවන්ට කියන්න. ඕං මෝඩ ගමයෙක් මෙහෙම කියල තියෙනව කියලා. ඒකත් එක්ක පේරාදෙණිය සරසවියට අවුරුදු අසූවක් පිරිච්ච හන්දා ඕං ජූලි මාසෙ පළවෙනිදට හැමෝටම බලන්න දෙනව කියන්නෙ සරසවිය. අපරාදෙ මම ලංකාවෙ හිටියනම් අනිවාර්යෙන්ම යනවා. ඔය හිච්චි එකාල නොදකින සුන්දරත්වය බලන්න.
ඉතිං ඔය පේරාදෙණිය වලේ නාට්‍යයක් කොරන්න බැරිවුණාට මගේ නාට්‍ය ගුරුතුමා වෙච්චි මැදවල පර්සි කේ. ජයතිස්ස මහත්තයගෙ ගුරුහරුකම් යටතේ මාත් ඔය එළිමහන් වේදිකාවල ජල්ලි ඇල්ලුවා. මෙදා සැරෙත් ඕං ඇසළ පෝයට මීට කලින් මාත් රඟපාපු ,දෛවයේ විසඳුම, බෞද්ධ නාට්‍යය වේදිකා ගතවෙනවලු යක්කලමුල්ලෙ පොල්පගොඩ කියන ගම් පළාතෙ. මං මේක මතක් කොරේ දැන් ගොඩක් වෙලාවට තියෙන්නෙ ඇසළ සැණකෙළිනෙ ඒකයි. ඊට පස්සෙ ඉතිං මළ කෙළි තමයි.
අපේ ගමේ ඉන්නවා අනූෂා කියල නඟා කෙනෙක්. ඒකි පන්සලේ පිංකමක් තියෙනවනම් පණ කඩාගෙන බයිසිකල් පැදල හතර වටේ ගොහින් ඇතිවෙන්න මල් කඩාගෙන එනවා. ඒ විතරක් නෙවෙයි පන්සලේ මොන වැඩේ තිබුණත් මැරීගෙන වැඩ. මං මේ බලාගෙන ඉන්නෙ ආං ඒකිට කවදටද ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී ගෞරව නාමය හම්බුවෙන්නෙ කියලා. මොකෝ මං තාම දන්නෙ නෑ ඔව්වා දෙන්න කට්ටිය තෝරගන්න විදිය ගැන.
ඒ අස්සෙ තව කට්ටියක් අරගලේට ඩොලර් ආව විදිය හොයනවා. හොඳයි ඒකත් හොයන්න. හැබැයි ආං සෞඛ්‍ය අමාත්‍යංශෙ වාහන එක්දාස් ගානක් අතුරුදහන් වෙලා. රජ ගෙදර වාහනත් අතුරුදහන් වෙලා. රාජ්‍ය ආයතන කෝටි ගණනක් පාඩු ලබලා. අරව හොයලා වෙලාවක් තිබුණොත් ආං ඒ ගැනත් පොඩ්ඩක් හොයන්නකෝ.
ඊයෙ පෙරේද දවසක වාහනේ යන ගමන් මට එකපාරටම ඉක්කාවක් හැදුන නොවැ. ලඟ ඉදපු හාදය කිවුවා ඉක්කයි මමයි ගාලු ගියා ඉක්ක දාලා මං ආවා කියල කියන්න කියලා. ඒත් මං ඒක නොකිය වතුර උගුරක් බිවුවා. මොකෝ ඩුබායි ඉදල සෑහෙන්න දුර නොවැ ගාල්ල. මං හිතන්නෙ රටේ සිද්ධවෙන දේවල් මතක් වෙනකොටයි මේ රටවල් දියුණු වෙනව දකින කොටයි ඉතිං ඉක්ක නොවැටි තියෙයිද? ඕං එක සංචාරයක් ඉවර කොරලා ලොක්ක ඇවිල්ල නොවැ. ලෝක බැංකුවෙන් ලොකු ගානකුත් ගන්න අනුමත කොරගෙන. දැං ඉතිං අර ප්‍රෙඩී සිල්වා මහත්තය කියපු සිංදුවක් තියෙන්නේ ,අනෙ අම්මාපල්ලා ආයෙත් ඇවිල්ලා ඉක්කා වැටෙයිදෝ හත් දෙයියනේ, එහෙම කියාගෙන එහෙනම් මහත්තයෙක් කියල තිබුණා ගොහිං එන්නම් කියන එකට වඩා ගෙහුං එන්නම් කියලා අඬහැරේට ගැළපෙනවා කියලා. ආං ඒ විදියට මෙදා සැරේ අවසන් කොරන්නං.
එහෙනං ආයුබෝවන්ඩ ගෙහුං එන්නං.
ගමරාලගේ අඬහැරය හතලිස් හයවන දිගහැරුම.
2023-06-29 බ්‍රහස්පතින්දා.
